Publications

දූවිලි

THE FIRST SRILANKAN BOOK PRODUCED IN PRINT,

AUDIO AND BRAILLE FORMS.

දෘෂ්ටිආබාධිත සහ දෘෂ්ටිහීන ලාංකීය නිර්මාණකරුවන්ගේ හැකියාවන් කරලියට ගෙන ඒමේ අරමුණ පෙරදැරිව 2021 වසරේදී සේරා බුක්ස් විසින් සංවිධානය කරන ලද කෙටිකතා සහ කාව්‍ය නිර්මාණ තරඟාවලියේ තෝරාගත් සහ එළිදැක්වෙන පළමු නිර්මාණ සංග්‍රහය 'දුවිලි' කෙටිකතා සංග්‍රහයයි.

2022 නොවැම්බර් මස 08 වැනි දින ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය ශ්‍රී සුමංගල සභාසදයේදී එළිදැක්වුණ මෙය සත්‍යා නිර්මානි ලේඛිකාව විසින් රචිත කෙටිකතා දහයකින් සමන්විතය.

'දුවිලි' කෙටිකතා සංග්‍රහය ශ්‍රී ලංකාවේ මුද්‍රිත, ශ්‍රව්‍ය සහ බ්‍රේල් යන ආකාර තුනෙන්ම එළිදැක්වූ පළමු කෘතිය ද වන්නේය.

එමෙන්ම, මෙම කෘතිය එළිදැක්වීමත් සමග සත්‍යා නිර්මානි ශ්‍රී ලංකාවේ කෙටිකතා සංග්‍රහයක් එළිදැක්වූ පළමු දෘශ්‍යාබාධිත කෙටිකතා රචිකාව බවට ද පත් වූවාය.

The short story collection 'Duvili' was launched at the Sri Sumangala Auditorium, University of Sri Jayawardenepura, on 08 November 2022.

'Duvili' is the first collection of short stories selected at the Short Story and Poetry Competition organized in 2021 by Sera Books with the aim of promoting and showcasing the talents of visually handicapped and visually impaired Sri Lankan creators, and published by Sera Audio Books.

'Duvili' - a collection of ten short stories by writer Sathya Nirmani, is the first ever Sri Lankan short story collection published simultaneously in print, audio and Braille formats.

With the launching of this book, Sathya Nirmani also made history as the first visually impaired short story writer in Sri Lanka.

E -BOOK

AUDIO BOOK

ලංකාවේ සියලුම ප්‍රසිද්ධ පොත්හල් වලින් ඔබට දූවිලි කෘතිය මිලදී ගැනීමට හැකි අතර මෙය අලෙවියෙන් ප්‍රකාශක වන Sera Audio Books වෙත ලැබෙන සියලු මුදල් මහරගම අපේක්ෂා රෝහලේ රෝගීන්ගේ සුවසෙත වෙනුවෙන් පිරිනැමීමට කටයුතු යොදා ඇත.

'Duvili' is available at all public bookshops. Arrangements have been made by Publisher Sera Audio Books to donate all proceeds earned from the sale of this book for the welfare of patients at the Apeksha Hospital, Maharagama.

Menaka Jayasundara | Publisher | Doovili

සිහින දකින එක නතර කරන්න එපා!

2020 වසරේ ජුනි 22 වැනිදා නිල වශයෙන් සේරා ඕඩියෝ බුක්ස් යූටියුබ් නාලිකාව ආරම්භ වෙනවා. එතැන් පටන් ක්‍රම ක්‍රමයෙන් පොත් අහන්නට කැමැති පිරිස් වගේ ම පොත් කියවන්නට නොහැකි දෘශ්‍ය ආබාධ සහ දෘශ්‍ය ඌනතා සහිත විශාල පිරිසක් අපිත් එක්ක එකතු වෙනවා සහ මට ඔවුන් සමග බොහොම සමීපව ඇසුරු කරන්නටත් කතාබහ කරන්නටත් අවස්ථාව ලැබෙනවා. ඒ අවස්ථාවන්වල දී නිරීක්ෂණය කරන්නට ලැබුණු දෙයක් තමයි ඔවුන් අතර ලේඛනයෙහි අතිදක්ෂ පිරිසක් ඉන්නවා ය කියන කාරණය. ඉතින් 2021 වසරේ දී අපි ඔවුන්ට ආරාධනා කරනවා, යෝජනා කරනවා ඔවුන්ගේ නිර්මාණ සේරා ඕඩියෝ බුක්ස් අපට එවන්නට ය කියලා. ඒ අනුව නිර්මාණ විශාල ප්‍රමාණයක් ලැබුණා. තවමත් ලැබෙමින් පවතිනවා. ඒ අතරින් තෝරාගත් කවි සහ කෙටි කතා සංග්‍රහයන් කිහිපයක් එළිදක්වන්නට යි අපි සැලසුම් කර තිබුණේ.

එහි පළමු පියවර වශයෙන් සත්‍යා නිර්මාණි විසින් රචිත කෙටි කතා දහයක් අද ‘දූවිලි’ නමින් ඔබ අතට පත් වෙනවා. මුද්‍රිත, ශ්‍රව්‍ය සහ බ්‍රේල් කෘති වශයෙන්. මේ ආකාර තුනෙන් ම කෘතියක් එළිදැක්වෙන්නෙ ලංකාවේ පළමුවැනි වරට යි. එමෙන් ම සත්‍යා නිර්මාණි කෙටිකතා පොතක් එළි දක්වන ලංකාවේ පළමුවැනි දෘශ්‍යාබාධිත ලේඛිකාව බවටත් අද පත් වෙනවා. කවදා හෝ ඉතිහාසය ලියන්නන් විසින් මේ කරුණු මගහැර යෑමට තිබෙන ඉඩකඩ වැඩි යි. නමුත් අද සුවිශේෂී දවසක්. මේ සියල්ල සඳහා පෙරමුණ ගන්නට ලැබීම ගැන මට දැනෙන්නේ නිහතමානී ආඩම්බරයක්.

සේරා ඕඩියෝ බුක්ස් කියන්නේ මගේ හීනයක්. හැබෑ කරගත්ත හීනයක්. මගේ හීනය හැබෑ කරගෙන යන මේ ගමනේ දී තවත් කෙනෙකුගේ හීනයක් හැබෑ කරවන්නට ලැබීම ගැනත් මට දැනෙන්නේ අප්‍රමාණ වූ සතුටක්. සත්‍යාට හීන ගොඩක් තිබුණා. මීට කාලෙකට කලින් සත්‍යා කියපු කතාවක් බොහොම බරට මගේ හදවතේ තැන්පත් වෙලා තියෙනවා. සත්‍යා කිව්වා ‘මගේ ලොකුම හීනය තමයි මගේ ඇස් දෙකෙන් එකම එක වතාවකට හරි මගේ දුවගේ මුහුණ බලාග න්න එක’ කියලා. අම්මා කෙනෙක් විදියට, දුවෙක් ඉන්න අම්මා කෙනෙක් විදියට, ඉපදුණ දවසේ ඉඳලා දවසින් දවස තරුණියක බවට පත්වන දුවක දිහා ඇස් දෙකෙන් බලාගෙන ඉන්න අම්මා කෙනෙක් විදියට සත්‍යාගේ ඒ හීනය මට බොහොම බරපතළ විදියට දැනුණා. සත්‍යාගේ ඒ හීනය හැබෑ කරවන්නට මට බැරි බවත් මම දන්නවා. නමුත් සත්‍යාගේ සමහර හීන හැබෑ කරගන්නට පුංචි තල්ලු‍වක් දෙන්න මට පුළුවන්. අද මේ හැබෑ වෙන්නේ සත්‍යාගේ ඒ වගේ තව හීනයක්. කසුන්ගේ හීනයක්. මගේ හීනයක්. සේරා ඕඩියෝ බුක්ස් අපේ හීනයක්. ජීවිතේ සියල්ල අහිමිව ගිය මොහොතවල්වල පවා අපව ජීවත් කරවන්නේ අපේ සිහින. තව මොහොතක් හෝ ජීවත් වන්නට අපට බලාපොරොත්තුවක් දෙන්නේ අපේ සිහින. ඒ නිසා සිහින දකින එක නතර කරන්න එපා. අද මගේ හීන, සත්‍යාගේ හීන හැබෑ වුණා වගේ හෙට දවසේ දී ඔබ බොහෝ දෙනෙකුගේ හීන හැබෑ වීමට නියමිත යි. ඒ නිසා සිහින දකින එක නතර කරන්නට එපා.

අපේ හීන පසුපස්සෙ විතරක් ම හැල්මේ දුවන්නේ නැතුව ඒ හීන හැබෑ කර ගන්නට යන ගමනේ අතරමග දී අපට මුණගැහෙන තවත් එකෙකු හෝ දෙන්නෙකුගේ වත් හීන හැබෑ කර ගන්නට යහපත් මනුෂ්‍යයන් විදියට පුංචි හරි දායකත්වයක් දෙන්න පුළු‍වන් නම් මේ ලෝකය මේ තියෙනවාට වඩා තවත් දශමයකින් හෝ සුන්දර තැනක් බවට පත් වේවි.

හැබෑ වුණත් නැතත් සමහර හීන හරි සුන්දරයි. ඒ නිසා සිහින දකින එක නතර කරන්න එපා! සත්‍යාගේ හීනය හැබෑවක් කරන්නට මට සහාය වූ සියලු දෙනා ම මේ අවස්ථාවේ සිහිපත් කරන්නේ බොහොම ගෞරවයෙන්. පොතේ පිටු සැකසූ සේනාත් ඉන්ද්‍රජිත්, සෝදුපත් බැලූ ජයසිරි ජයසේකර, ශ්‍රවණ කෘතියේ හඬ දායකත්වය ලබාදුන් තිලිණ සමරසූරිය සහ දේශානි වීරසිංහ, බ්‍රේල් කෘතියේ සංස්කරණය, බ්‍රේල් කෘතියේ මුද්‍රණය, ශ්‍රවණ කෘතියේ සංස්කරණය කළ කසුන් නයනජිත්, මුද්‍රණය දක්වා නිවැරදි මග පෙන්වූ සමන් ඉන්දික ලොකුකලුගේ නොසිටින්නට ‘දූවිලි’ මෙතරම් ඉක්මණින් යථාර්ථයක් බවට පත් කරන්නට නොහැකි වන්නට ඉඩ තිබිණ.

දිරි දුන් ඔබ සැමට තුති !

මේනකා ජයසුන්දර
Founder / Sera Audio Books
2022 නොවැම්බර් 08 වැනි දින
පැරිසියේ දී.


Dr Jayalatha Madawatta

ලංකාවේ දී අපට හමු වන පළමුවැනි දෘශ්‍යාබාධිත කෙටිකතා රචිකාව ඇයයි!

කෙටිකතාව නමැති විචිත්‍ර සාහිත්‍ය ප්‍රවර්ගය මානව ජීවිතයේ ස්වභාවය විවිධාකාරයෙන් ප්‍රතිනිර්මාණය කරයි. සාහිත්‍ය නිර්මාණයත්, මානව සමාජයත් අතර මැද එක් මොහොතක ලේඛකයාත්, පාඨකයාත් මුහුණට මුහුණ මුණග ැසේ. එය අපූරු හෘදයසංවාදී නිමේෂයකි. කෙටිකතාව ද මෙකී විශිෂ්ට අත්දැකීම කොන්දේසි විරහිතව පාඨකයා වෙත ප්‍රදානය කරයි. සත්‍යා මනසින් දකින ලෝකය කෙටිකතා අවකාශයෙහි ප්‍රතිනිර්මාණය කිරීම සුවිශේෂී ලක්ෂණයකි; අවස්ථාවකි.

ඇගේ කෙටිකතාවල හමු වන සජීවී චරිත මගින් තියුණු නිරීක්ෂණ ශක්තියෙන් හා සියුම් ප්‍රතිභාවෙන් යුත් ලේඛිකාවකගේ ආගමනය සනිටුහන් කෙරේ.

සිංහල කෙටිකතා ලේඛිකාවන්ගේ නාමාවලිය ඇරඹෙන්නේ ඊවා රණවීරගේ “මොරකැටි” (1960) කෙටිකතා සංග්‍රහය පළ වීමත් සමග ය. සිංහල කෙටිකතා කලාවේ ප්‍රගමනය උදෙසා ලේඛකයන්ගේ දායකත්වයට සාපේක්ෂව ලේඛිකාවන්ගේ දායකත්වය අවම අගයක් ගනියි. මෙකී ලේඛිකා නාමාවලියෙහි සත්‍යාගේ නම සටහන් වන්නේ සුවිශේෂී ලේඛිකාවක වශයෙනි. ඇය අපට හමු වන පළමුවැනි දෘශ්‍යාබාධිත කෙටිකතා රචිකාව යි.

ඇගේ නිර්මාණ භාවිතයේ කැපීපෙනෙන ලක්ෂණ කිහිපයකි. ඇස ගැටෙන අද්දැකීම් නිර්මාණ මගින් විඳ ගැනීමට හුරුපුරුදු පාඨකයා සත්‍යාගේ මනසින් ගැටෙන අත්දැකීම්වල ගැඹුරු මෙන් ම සත්‍යවාදී බවින් ද තිගැස්මට ලක් වේ. ඇස පිනවන ලෝකයේ ව්‍යාජය පසක් කර ගනී. සරල කතා රටාවකින් ඉදිරිපත් වන සත්‍යාගේ කෙටිකතා සමාජ ක්‍රියාකාරීත්වයේ හෘදය ස්පන්දනය සියුම්ව ග්‍රහණය කර ගනී. මෙම කෙටිකතාවල පළමුවන පාඨකයා බවට පත් වීමට හැකි වීම මා ලද භාග්‍යයක් බව සඳහන් කරමින්, සත්‍යාගේ කෙටිකතා කලාව නව මංපෙත් ඔස්සේ ඉදිරියට ගමන් කරනු දැකීමේ අපේක්ෂා පෙරදැරිව සුභපැතුම් එක් කරමි.

ආචාර්ය ජයලතා මැදවත්ත
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය
සිංහල අධ්‍යයන අංශය
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය
2022 නොවැම්බර් 08


Sathya Nirmani | Author | Doovili

තුති!

ජිවිතයේ මේ දක්වා ආ ගමන් මගෙහි මට අත්වැලක් වූ, සෙවණැල්ලක් වූ පිරිස බොහෝ ය. ඒ කිසිවෙක් හෝ කිසිවක් අමතක කළ නොහැකි අතර මේ මොහොතේ ඔවුන් සිහිපත් කිරීම ඒ සියල්ලන්ට ම කරන්නා වූ ගෞරවයක් බව මා දැඩිව විශ්වාස කරන්නකි.

පළමුව මා මෙලොවට බිහි කර මා ඇති දැඩි කිරීමෙන් පමණක් නොනැවතී, මා දෑසින් නොදකිනා ලෝකය ඔවුන්ගේ දෑසින් මට පෙන්වන මගේ ආදරණීය අම්මා මල්ලිකා සහ අප්පච්චි ගාමිණී යන දෙපළට වදනින් තුති පුදා මඳ බව දනිමි. එහෙත් මුල් තැන ඔබට යි. අද මා ඉන්නා තැනට මා ඔසවාගෙන ආවේ ඔබ ය.

කුඩා කල සිට සොයුරෙකු පමණක් නොව මිතුරෙකු ද වූ, මා ළඟ ම හිඳ ඔබත් සමග ම අත්වැල් අල්ලා යන්නට ළමා පොතපත කියවූ ආදර සොයුර සචිත්‍ර, ඔබට මතක ද ඒ දවස්? ස්තුතියි ඒ හැම දේට ම. ඉසුරිණිමා, ඔබේ ළං වීමත් සතුටක්. ස්තුතියි ඔබටත්. එමෙන් ම පෙර පාසැල, ප්‍රාථමික අධ්‍යාපනය ලැබූ දොලු‍ව මහා විද්‍යාලය සහ ජීවිතයේ වෙනස් හැඩයක් පෙන්වූ රත්මලාන අන්ධ විද්‍යාලය සහ මහනුවර පුෂ්පදාන බාලිකා ජාතික පාසල තුළින් මට ළං වූ, මට දෑසක් වූ ගුරු මෑණිවරුන්, පියවරුන් සහ ආදරණීය සොයුරු සොයුරියනි, නම් වශයෙන් සිහිපත් නොකළත් ඔබ සියලු‍දෙනා මගේ සිත් කොනක සදා නොමැකෙන ලෙස ලැගුම් ගෙන ඇත. මේ කතා තුළ ඔබත්, ඔබේ වචනත් ජීවත් වන්නේ ය. ඉදින් ඔබට ස්තුති නොකර කොහොම ද?

සුජානි, දුල්මිණී, පියුමිණී, නිකේශලා මගේ ඥාති සොයුරියනි, තනිව පොතපත කියවා නොගෙන මටත් ඇසෙන්නට කියවමින් ඒ රසය, ඒ අද්දැකීම් මා හා බෙදා ගත් ඔබ, මට කිසි විටෙක අමතක කළ නොහැකි ය. විශ්වවිද්‍යාලය තුළ ඉගෙනගත් සිවු වසර තුළ මා වෙත මිත්‍රත්වයේ දෑත දිගු කළ, තවමත් දුක සැප විමසන මිතුරු මිතුරියනි, මෙහි බහුතරයක් ඇත්තේ ඔබ මට කියූ කතා ය. ඔබේ අද්දැකීම් ය. ඉදින් මේ අත්දැකීම් මා හට සමීප කළ ඔබත්, ඉන් පසු විශ්වවිද්‍යාලය තුළ මෙතෙක් මා සේවය කරන විට හමු වූ, ළං වූ විද්‍යාර්ථිනුත් සිහිපත් කරන්නේ තුති පිරි හදවතින් ය.

එදා මෙදා තුර විශ්වවිද්‍යාලය තුළ හමු වූ මග පෙන්වූ ඇදුරු මඬුල්ල අපමණ ය. නම් වශයෙන් නොකියන්නේ එක් අයෙකු හෝ බැරි වීම වරදක් හෙයිනි. එබැවින් පොදුවේ සියලු‍ දෙනා සිහිපත් කරනුයේ ඉමහත් ගෞරවයෙන් ය. සිංහල උපාධියක් හැදෑරීමේ අදහස පසුව වෙනස් වුවත් එය ලේඛකත්ව හා සන්නිවේදන පශ්චාත් උපාධිය හැදෑරීමෙන් පූර්ණ වූ අතර ඊට මග පෙන්වූ රත්නසිරි අරංගල මහාචාර්යතුමනි, මගේ නිබන්ධන පර්යේෂකවරිය වූ ජයලතා මැදවත්ත ආචාර්යතුමියනි, ඔබ දෙපළට මගේ හදපිරි තුති පුදමි.

එසේම පාඨමාලාවෙන් හමු වූ දිලනි අක්කාට සහ මුල් කෘතියේ සෝදුපත් බලමින් මට සහාය වූ වර්ශා, භාග්‍යා, අරුන්දි යන සොයුරියන්ට ද මගේ ප්‍රණාමය.

මාගේ නිර්මාණකරණය පහසු කරවූයේ මා ලැබූ පරිගණක අධ්‍යාපනයයි. ඒ සඳහා මා යොමු කළ මගේ ප්‍රථම පරිගණක ගුරුවරයා වූ කැලු‍ම් ප්‍රසන්න මහතාත් විශ්වවිද්‍යාලයේ පරිගණක ආචාර්යවරයා වූ චානක වාසනා මහතාත් සිහිපත් කරන්නේ ඉමහත් භක්ත්‍යාදරයෙනි.

‘අහසින් එහා‘ බ්ලොග් අඩවිය නිර්මාණය කරමින් ලේඛිකාවක වීමට මග හසර හෙළි පෙහෙළි කර දුන් එදා පෙම්වතා, අද සැමියා වන කසුන් නයනජිත් ඔබටත්, ජීවිතයට අලු‍ත් බලාපොරොත්තුවක් කැටි කළ දයාබර දියණිය සෙතුලි සවර්ශා ඔබටත් හදවතින් තුති පුදමි. එසේ ම බ්ලොග් අවකාශය තුළ හමු වූ මගේ ම සොයුරු කැලක් ලෙසින් මේ මොහොතෙත් ළඟින් හිදිනා ඔබ, නම් වශයෙන් නොකීව ද මේ ස්තුතිය ඔබට යි. මන්ද අපුරු වූ මිනිසුන් රැසක් ළං වූ ඒ අවකාශය මේ සියල්ලට මුල සිට ශක්තියක් විය.

අවසාන වශයෙන් මගේ හීනය පාට කළ, මගේ හීනයට පණ දුන් ඇයට! මේ කෘතිය අද ඔබ අතට පත් වන්නේ ඇය නිසා ය. ශ්‍රී ලංකාවේ ග්‍රන්ථකරණයේ කඩඉමක් සනිටුහන් කරමින් මුද්‍රත, ශ්‍රව්‍ය සහ බ්‍රේල් කෘති වශයෙන්

‘දූවිලි‘ කෙටිකතා සංග්‍රහය එළිදක්වන සේරා ඕඩියෝ බුක්ස් නිර්මාතෘ මේනකා ජයසුන්දර සොයුරියනි, ඔබට තුති පිදීමට තරම් අකුරු හෝ වදන් මට නැත. හද පත්ලෙන් පැනනගින ආදරය පමණක් ඔබට පුද කරමි.

ස්තුතියි!

සත්‍යා නිර්මාණි
2022 නොවැම්බර් 08 වැනි දින
කොළඹ දී.

Terms and Conditions | Privacy Policy
Designed by SeqCode